| ‘නවක වදයයි, අරගලයයි, අන්තරයයි කැටිකරගත් විශ්ව විද්‍යාල ජාතික අන්තරාව |
|
|
|
| 2010 ජූලි 30 වෙනි සිකුරාදා, 20:00 | |
|
එහෙත් උගත් කමත්, බලාපොරොත්තුත් පසෙකලා අද වන විට සරසවියේ සිදුවන අකටයුතුකම් උගතුන්ට වඩා වේගයෙන් පැතිර යමින් තිබේ. එය කොතෙක්ද යත් සමහර සිදුවීම් අවසානය මිනීමැරුම් දක්වාද දිවගොස් තිබේ. තරුණ සිත් තුළ කැරළිකාර, පෙරළිකාර හැඟීම් ජනිතවීම ස්වභාවිකය. එහෙත් ඒවා කිසි විටෙකත් ප්‍රචණ්ඩත්වයක් හෝ තවකෙකු හිංසාවට ලක්කරන්නක් නොවිය යුතුය. එහෙත් අද විශ්ව විද්‍යාල තුළ ප්‍රචණ්ඩත්වය සාමාන්‍ය දෙයක් වී තිබේ. ‘තමාට සැරයටිය වැනීමට ඇති නිදහස අනෙකාගේ නාසයෙන් කෙළවර නොවිය යුතුය’ යන දාර්ශනික කියමන ඔවුන් නුරුස්නා සේය. සරසවි බිමේ සිසුන්ට ඇති අසීමිත නිදහස තමාගේත් රටේත් යහපත උදෙසා යොදාගත යුතු වුවද බොහොමයක් එය භුක්ති විඳින්නේ තමාගේත්, රටේත් අගතිය වෙනුවෙන් බව සාක්ෂි සහිතව ඔප්පු වෙමින් තිබේ. ශිෂ්‍යයෙකු ලෙස නිර්මලව සරසවියට පැමිණෙන බොහෝ සිසුන් සරසවියෙන් පිටව යන්නේ අධ්‍යාපනයට අමතරව ‘මළ’ ගොඩක් රැගෙනය. සරසවියේ නිරන්තරයෙන් මෝරා පවතින මලගම නම් ‘නවක වදය’ යයි. නවක වදය මුල් කාලයේදී නවකයින් සමග සුහදවීමට එක් මගක් විය. පසුව මෙය සුහදත්වයට වඩා නවකයින්ට ‘වදයක්’ම වෙමින් රීතියක් සේ සති දෙකක් පමණ ක්‍රියාත්මක විය. එහෙත් සරසවි වරම් ලබන්නා සරසවියට පැමිණියේය. මේ අතර ඡන්ද අයිතියේ හිමිකමක් ලෙස ලෙස 60 දශකයේදී පමණ සිට විශ්ව විද්‍යාල තුළ දේශපාලන ශිෂ්‍ය සංගම් ආරම්භ කෙරෙන්නට විය. ඒවා විවෘත සංගම්ය. ඒ අනුව සරසවි තුළ ප්‍රසිද්ධියේ විවිධ දේශපාලන මත නියෝජනය කරන පිරිස් ඒකරාශී වී තම දේශපාලන දර්ශනයේ ප්‍රගිතියට ක්‍රියා කළහ. නවක වදය “මළ වදයක්” වෙමින් සරසවි බිමෙන් මරුවන් බිහි වන්නේ ඒ අනුවය. පටු දේශපාලන අරමුණු සහිත ශිෂ්‍ය සංගම් ඉතා සංවිධානාත්මකව එලෙස බලාත්මක වන විට අනෙක් දේශපාලන ශිෂ්‍ය සංගම් ක්ෂයව ගොසිනි. සති දෙකක පමණ කාලයක් සාමාන්‍ය පරිදි පැවති නවක වදය මාස දෙකක් දක්වා ක්‍රියාත්මක කිරීම, ඒ තුළින් විශ්ව විද්‍යාලයට ඇතුල්වන නවකයින් තම සංගමයට බඳවාගැනීමට, අවනත කරගැනීමට හෝ නිහඬ කරවීම, රාත්‍රී කාලයේදී සිසුන් හඹාගොස් නවක වදය පමුණුවීම, තම අභිමතාර්ථයන් බලහත්කාරයෙන් සිසුන් මත පැටවීම, කිසියම් සිසුන් පිරිසක් හෝ අයෙකු ගැන තෘප්තිමත් නොවන්නේ නම් දෙවන වසරේ සිසුන් දක්වා නවක වදය ව්‍යාප්ත කිරීම, විශේෂයෙන් ජ’පුර, කොළඹ, කැළණිය ඇතුළු සරසවියන්හි ශාලා තුළ කල්ලි ගැසී කුමන්ත්‍රණ කිරීම, එකිනෙකා විරෝධී අරගල ආදී කී, නොකී බොහෝ දේවල් දක්වා පැතිර ඇත්තේ මේ සංවිධානාත්මක දේශපාලන අරමුණු අරබයා ක්‍රියාත්මක වන ශිෂ්‍ය සංගම්වල ඉහළ ‘ඔළු’ නිසාය. මෙහි එක් ප්‍රතිඵලයක් ලෙස නවක ශිෂ්‍යයින් සරසවියට ඇතුළත්වීමේ භීතිකාවක් ද සමාජය පුරා පැතිර පවතී.
2008 අගෝ 22 වැනිදා නැගෙනහිර සරසවියේ වන්දාරමුල්ල නේවාසිකාගාර පරිශ්‍රයේදී නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි පහරකින් එච්.එම්.එස්.පී සමරසිංහ සිසුවා මරණයට පත්වීම, එම විශ්ව විද්‍යාලයේම 2009 වසරේ පෙබ. 27 දා නිරූජා තනබාලසිංහම් සිසුවිය නේවාසිකාගාරයේ ගෙල වැළලාගෙන මිය යාම සහ එම වසරේ එම විශ්ව විද්‍යාලයේම කාන්තා නේවාසිකාගාරයේ නාන කාමරය තුළදී සුදර්සනා රවීන්ද්‍රන් සිසුවිය ගිනි තබාගෙන සියදිවි හානි කරගැනීම කොටි හඬ, නිහඬ වූ පසු නැගෙනහිර සරසවියේ සිදු වූ අපරාධයන්ය. මීට අමතරව 87 - 89 ‘ශ්‍රී ලංකාව මිනී කන්නන්ගේ දේශයක්’ යැයි හංවඩු ගසාගත් භීෂණ සමයේ සිදුවූ භීෂණ ක්‍රියාතුළින් ඉතා සාහසික අන්දමින් රටට අහිමි වූ සරසවි සිසුන් ගණන 300 ද ඉක්මවයි. මේ අතර අප රටේ නවක වද ඉතිහාසයේ තවත් නීචතම සෝචනීයම පළමු සිද්ධිය වනුයේ කරන්දෙණිය, මහඒදණ්ඩේ රූපා රත්නසීලි නමැති දිළිඳු සිසුවිය නවක වදයෙන් සදාකාලිකව අබ්බගාත වීමයි. 1975 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයට ඇතුළු වූ ඕ හට රාමනාදන් නේවාසිකාගාරයේ නවාතැන් ලැබිණි. එක් දිනක ඇය නවාතැනට යන විට නවක වදය දෙන ජ්‍යෙෂ්ඨ යකුන් රැලක් ඇය හඹා ආ බැවින් බියගත් ඇය රාමනාදන් ශාලාවේ උඩුමහලට දිව ගියාය. ඒත් සමගම රූපා රත්නසීලි උඩුමහළින් බිමට වැටුණු අතර ඉන් ඇගේ කොඳු නාරටියට හානි සිදුවිය. නවක වදය දුන් අය, ඇයට බලහත්කාරකම් කිරීමට තැත් කර එය කරගත නොවුණු බැවින් ඇය බිමට තල්ලු කළ බවටද මතයක් පැතිරුණි. සිද්ධියෙන් සදාකාලික අබ්බගාතබවට පත් ඇය රෝද පුටුවක ජීවත් වූ අතර වරින් වර රෙදි මසා දිවි ගැටගහගන්නට උත්සහ දැරීය. ඇගේ දෛවය එයට ද සහයක් නොදුන් අතර ජීවත්වීමට මගක් නැති වූ ඇය අවසානයේ 1997 දී රෝද පුටුවෙන් ම ගෙවත්තෙහි පිහිටි ළිඳ වෙත ගොස් එයට පැන සිය දිවි නසා ගත්තා ය. කෙසේ වෙතත් 1997 වසර ඇතුළතදී නවක වදය හේතුවෙන් සරසවි සිසුන් තිදෙනෙකු මිය යාමත් සමග රට තුළ සරසවිය පිළිබඳ මහත් පිළිකුල් සහගතබවක් උද්ගත වූ අතර එම පසුබිම පාදක වෙමින් 1998 අප්‍රේල් 30 වනදා, 1998 අංක 20 දරණ අධ්‍යාපන ආයතනවල නවක වදය සහ වෙනත් ස්වරූපයෙන් සිදුවන සාහසික ක්‍රියාවන් තහනම් කිරීමේ පනත පාර්ලිමේන්තුවේ දී සම්මත විය. එම පනතත් සමග මෙම තත්ත්වය යම්තාක් දුරට මර්දනය වුවද, විශ්ව විද්‍යාල තුළ ක්‍රියාත්මක දේශපාලන හස්තයන් මගින්, සිදුවන සිදුවීම් පිටතට ඒම, පනතට වඩා බලගතු ලෙස පාලනය කරමින් තිබේ. මේ අතර අද කරළියට පැමිණ රට තුළ මහත් ආන්දෝලනයක් ඇතිකරමින් තිබෙන්නේ රුහුණු විශ්ව විද්‍යාලයේ සුසන්ත බණ්ඩාර සිසුවාගේ මරණයයි. මේ සිද්ධිය සම්බන්‍ධයෙන් ඇති චෝදනා සහ කතන්දර බොහෝය. ශිෂ්‍ය සංවිධාන පවසන්නේ සුසන්ත බණ්ඩාරව ඝාතනය වූයේ සිසු අරගලයක් මර්දනයට විශ්ව විද්‍යාලයට පැමිණි පොලිස් නිළධාරීන්ගේ පහරකින් බවයි. එතකින් නොනවතින ඔවුන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ මූලිකත්වයෙන් සුසන්තගේ මරණය පිළිබඳ සාධාරණයක් ඉෂ්ඨ කරන්නැයි උද්ඝෝෂණ ව්‍යාපාර ගෙනයමින් අරගල කරති. එම චෝදනාව තරයේ පොලීසිය ප්‍රතික්ෂේප කරන අතර එවැන්නක් සිදු නොවූ බවට සහතික වෙයි. සුසන්තගේ සිද්ධිය විමර්ශනය කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් යෙදවීමටද පොලිස්පතිවරයා කටයුතු කළේය. ඒ අනුව එම විමර්ශන සිදු කෙරෙමින් පවතී. ඒ අනුව පොලීසියයි, ශිෂ්‍ය සංවිධානයි එකිනෙකාට කරගන්නා චෝදනාව කුමක්දැයි දැනගැනීමටත්, මේ අපරාධයේ සත්‍ය හෙළිකරගැනීමටත් ඇවැසි වූ ජනාධිපතිවරයා සිද්ධිය සම්බන්ධයෙන් වහාම වාර්තාවක් ලබාදෙන ලෙසට අදාළ පාර්ශවයන්ට නියෝග කළේය. මේ අතර තරුණ පිරිස් හා දීර්ඝ ගමනක් යාමට උත්සහ දරන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද මෙය මනුෂ්‍ය ඝාතනයක් නම් පිළිකුල් සහගතව හෙළාදකින බව පවසමින් මේ පිළිබඳව සොයා බැලීමට විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් ස්වාධීන කොමිසමක් පත් කර, රජයේත්, පොදුවේ මහජනතාවගේත් සත්‍ය දැනගැනීමේ අයිතිය තහවුරු කරන මෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය. මේ සියල්ලම සමග ජනතාව වරින් වර කරකවා අතහරින්නේ සුසන්ත බණ්ඩාරගේ අම්මාය. ඇය මුලින්ම තම පුතාගේ මරණය පිළිබඳ හඬ අවදි කළේ ‘මේක කළේ කැම්පස් එකේම ළමයි’ බව කියාය. ඉන්පසුව යළිත් ඇය අධිකරණයට සාක්ෂි දෙමින් කියා සිටියේ, රෝහලේදී තම පුතාට බත් කවන ගමන් පොලීසියෙන් පහර දුන්නේ ඇයි දැයි විමසූ විට ‘තමාට පොලීසියෙන් නොගහපු බවත්, “බස්සා” නැමැත්තා කාමරයට පැන පොලු පහරවල් 3ක් ඔළුවටත්, පිටටත් එල්ල කළ බවත් අවසන් මොහොතේදී ‘බස්සා කෝ, මම තෝව කනවා” යනුවෙන් කෑ ගසා සුසන්ත ඇදවැටුණු බවත්ය. මේ අයුරින් මරණයත්, අරගලත්, චෝදනාත්, තවම කරළියේය. පරීක්ෂණත්, විමර්ශනත් ඔස්සේ වාර්තා ද සැකසෙමින් පවතී. සත්‍ය හෙළිදරව් වන තෙක් ජනතාවත් පුලපුලා බලා සිටිති. නැත්තේ සුසන්ත බණ්ඩාරගේ ජීවිතයත්, ඔහුගේ දෙමව්පියන්ගේ සතුටත් පමණි.
|
|
| අවසන් යාවත්කාලීන කිරීම ( 2010 ජූලි 31 වෙනි සෙනසුරාදා, 12:41 ) |









