බැනරය
බැනරය
පකිස්ථානයේ දරුණුතම ගුවන් අනතුරින් 152 ක් මරුට පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 ජූලි 29 වෙනි බ්‍රහස්පතින්දා, 10:01

(කොළඹ-ලංකාපුවත්) පකිස්ථානයේ එයාර් බ්ලූ පෞද්ගලික ගුවන් සේවාවට අයත් A321 ගුවන් යානය පකිස්ථානයේ අගනුවර ඉස්ලාමාබාද් ආසන්නයේ දී ඊයේ අනතුරට ලක් වීමෙන් එහි ගමන් කළ මගීන් කාර්ය මණ්ඩලය ඇතුළු සියලු දෙනා ජීවිතක්ෂයට පත් ව තිබේ. මෙය පකිස්ථාන ගුවන් ගමන් ඉතිහාසයේ සිදු වූ දරුණූතම අනතුර බැව් වාර්තා වේ.

අනතුර සිදුවන විට ගුවන් යානය කරච්චි සිට ඉස්ලාමාබාද් දක්වා මගීන් 152 ක් රැගෙන පියාසර කරමින් පැවතිනි. අනතුරට හේතුව ලෙස වාර්තා වන්නේ අයහපත් කාලගුණ තත්ත්වයයි. එයාර් බ්ලූ සමාගම නිකුත් කළ නිවේදනයකට අනුව ඝන මීදුම සහිත අයහපත් කාලගුණය අනතුරට හේතු වී ඇති අතර ගුවන් යානය අනතුරට පත් වීමට සුළු මොහොතකට පෙර යානය පාලක මධ්‍යස්ථානය සමග පවතින සබදතාව අඩපණ වී තිබේ. අනතුරුව යානය අගනුවරට කි.මී 02 ක් පමණ ඈතින් තිබුණු මාර්ගලා කදු මුදුනෙහි ගැටී තිබේ.
 
මෙම අනතුරින් අමරිකානු ජාතිකයන් දෙදෙනෙකු ද ජීවිතක්ෂයට පත් ව ඇති බව අමරිකානු තානාපති කාර්යාලය තහවුරු කර තිබේ.සිද්ධිය සැලවීමෙන් පසුව මිය ගිය අයගේ ඥාතින් මිතුරන් ඇතුළු විශාල පිරිසක් ඉස්ලාමාබාද් නගරයේ ඇති පකිස්ථානු වෛද්‍ය විද්‍යා ආයතනයට රැස් වූහ.

සිද්ධිය සිදු වූ ස්ථානයේ විසිරී තිබූ පිළිස්සුණු සිරුරු බොහොමයක් ජීවිතාරක්ෂක භටයන් විසින් සොයා ගෙන තිබේ.

බ්‍රහස්පතින්දා දිනය ජාතික ශෝක දිනයක් ලෙස නම් කිරීමට ත් ජාතික ධජය අඩකුඹු කිරීමෙන් ශෝකය ප්‍රකාශ කරන ලෙසත් පකිස්ථාන රජය ජනතාවට දැනුම් දී තිබේ.

 

 

Ads

wap

Ads